සමුපකාර ජන සමාජයක් ගොඩ නැංවීමට උර දෙමු.

Photo of the Remarkables mountain range in Queenstown, New Zealand.

Saturday, May 14, 2016

කෘෂි කාර්මික සමුපකාර සමිතියක් ආරම්භ කිරීමේ මුල් පියවර තැබිමු








මැයි මස පළමු වෙනිදා රැස්වීමෙන් පසු අපි කිහිප දෙනෙක් කතිකා කරගත්තේ සමුපකාර ජන සමාජයක් ගොඩ නැංවීමට උර දෙමු යන තේමාව ඉදිරියට ගෙන යන ආකාරය ගැන විවිධ වැඩ සටහන් ආරම්භ කල යුතු කියාය. අපේ ප්‍රථම  කටයුත්ත  උනේ දැනට ඇරඹි ඇති කෘෂි කාර්මික සමුපකාර ව්‍යාපාරය වර්ධනය කිරීමටය. 

වර්තමානයේදී වී ගොවියා, කුඹුරු හිමියා  මෙන්ම හාල් පාරිභෝග කරන්නාද විඳින ගැටළු දැනටමත් ඔබ දන්නවා ඇතැයි සිතමි. කුඹුරු හිමියා විසින් යෙදිය යුතු ප්‍රාග්ධනයට සරිලන ආදායමක් ඔහුට ලැබෙන්නේ නැත. වගාවෙන් ලැබෙන අඩු ආදායම වියපත් ගොවින් වී වගාවෙන් ඉවත් කරමින් සිටිති. වී වගාවට ශ්‍රමය යෙදීමෙන් ලැබෙන  අඩු ආදායම නිසා ගොවියාගේ දරු දැරියන් වී වගාව  ජීවනෝපායක් කර ගන්නට සිතන්නේ නැත. එසේම ගුණාත්මක තත්වය ගැන සැලකිල්ලක්  නොදක්වමින් දිනෙන් දින ඉහල යන සහල් මිල  නිසා පාරිභෝගිකයා සිටින්නේද නොසතුටිනි. මෙ සියල්ලටම වඩා ඇති ගැටලුව අධික රසායනික ද්‍රව්‍ය භාවිතය නිසා සුව කල නොහැකි ලෙඩ රෝග වලට  මේ  තුන් ගොල්ලන්ම මුහුණදී මිය යාමය. 
     වී අස්වැන්නෙන් ලැබෙන ප්‍රතිලාභ අයිතිකරුවාට, ශ්‍රමිකයාට මෙන්ම පාරිභෝගිකයාටද සම-සමව ලැබෙන පරිදි වී ගොවිතැන් කිරීමට ගොවියා පොළඹ වන්නේ කෙසේද යන්න ගැන අත්හදා බැලීමක් කිරීමට අපි තීරණය කළෙමු. 

සෞඛ්‍ය හේතු නිසාම වස විස නැති සහල් වලට ඉහල වෙළඳ  පොලක් නිර්මාණය වී ඇත. දැනටමත් එවැනි සහල් කිලෝවක් විවෘත වෙළඳ පලේ, සුපර් මාර්කට් වල  අලවි වන්නේ රුපියල් 385ක් වැනි අධික මිලකටය. පාරිභෝගිකයා විසින් ගෙවිමට කැමති මේ  ඉහල මිලෙන් සැලකිය යුතු කොටසක් ඉඩම් හිමියාට හෝ  ගොවියාට ලැබෙන්නේ  නැත. වෙළඳ පොළ අතරමැදියන් එය ග්‍රහණය කර සිටිති.

 මෙම ගැටලුවට ප්‍රවේශයක් ලෙස වස විශ නැති වී වගාවක් ආරම්භ කිරීමට අක්කර භාගයක කුඹුරක් ඇති ඉඩම් හිමියා මෙන්ම එහි අඳයට වැඩ කරන ගොවියාද එකඟ කරවා ගතිමු. අප තෝරා ගත්තේ සබරගමුව විශ්ව විදාලය පසු කොට ඇති පම්බහින්නේ ගමෙන් හැරී පහතට බසින විට හමුවන  කොස්ගම ගමයි. සබරගමුව සහ ඌව පළාත් මායිම්ව පිහිටා ඇති මෙම ගම තෝරා ගැනීමට ඇති හේතු  ගැන විස්තර පසුවට  ඉදිරිපත් කරමි මෙම ගම සම්ප්‍රදයිකවම වී ගොවිතැන් කරන පවුල් 300කින් සමන්විතය. වගා ඉඩම් වලින් 90% පමණ පාරම්පරිකව අඳ ගොවින් විසින් වගා කරනු ලැබේ. ප්‍රදේශයේ සියලුම ගොවින් වගා කරන්නේ මාස 3 1/2 වීය.වී වැපිරීම හැර අන් ක්‍රමයන් ඔවුන් පාවිච්චි නොකරති.

ගොවි මහතාගේ කැමැත්තට ඉඩ දෙමින් වී වගාව සඳහා අප තෝරා ගත්තේ සුවඳැල්ය. පේරාදෙණිය ගන්නෝරුව කෘෂිකර්ම මධ්‍යස්ථානයේ සුවඳැල් බිත්තර  වී විකිනීමට නැත. ඒවා තිබෙන ස්ථානයක් හෝ ඔවුන් නොදනිති. අවසානයේදී   වවුනියාවේදී නිෂ්පාදනය කර, ගම්පහ දිස්ත්‍රික්කයේ වගා කිරීමට ගෙනවිත් තිබු සුවඳැල්  බිත්තර වී කිලෝ 30ක් කිලෝවක් රුපියල් 120  ක මිලකට ඉතා අසීරුවෙන් ලබා ගතිමු. සුවඳැල්  බිත්තර වී කිලෝ 30ට මුදල් යෙදවීමට සහ එය ප්‍රවාහනය කිරීමේ වියදම දැරීමට  කුඹුරු හිමියා  කැමති විය. බිත්තර වී රැගෙන කොස් ගම ගමට නිකන්ම ගොස් පලක් නොවන නිසා මෙ කාර්යයේ නියුතුවී සිටින අරුණ සුරවිර මහතාගේ උපදෙස්ද ගොවීන්ට ලබා දීමට සිතුවෙමු.

පසුගිය 8 වැනි දින කොස්ගමදී කල සාකච්චාවට සහභාගිවූ ගොවින් කිහිප දෙනා     











මෙතන ගෙවිලියක්ද ඉන්නවා.කලිසමක් අැඳ   පිටි පස්සෙන් ඉන්නේ නායක්. එයා අඳ ගොවියෙක්. බිත්තර වී සඳහා අධික මිලක් වැන්න වෙන නිසා එයාගේ ඉඩම් හිමියා මෙවර වස විස නැති වී වගාවට කැමති උනේ නැහැ. ඒ හින්දා නායක්  සම්ප්‍රදයික විධියට රසායනික ද්‍රව්‍ය භාවිතා කර වී වපුරන්න කුඹුර සකස් කරමින් ඉන්නවා.  ලබන කන්නයේදී වත් කුඹුරු හිමියාගේ කැමැත්ත ලබා ගන්න පුළුවන් උනොත් හොඳයි. නිල්පාට කමිසය ඇඳ ඉන්නේ සෙනවිරත්න එයත් අඳ ගොවියෙක්.වී වගාවේදී ගොවීන්ට මුහුණ පාන්නට වෙන ගැටළු ගොඩක් එයා පැහැදිළි කළා. එයාගේ කුඹුර තවම පැහිලා නැහැ. ලබන කන්නයේදී වස විස නැති වී වගා කරන්න එයා කැමති උනා.








මේ සරමක් ඇඳලා රැවුල වවාගෙන ඉන්නේ අනුර සුරවීර. අපි ගොවියන් හමු උනේ කුඹුරු යාය අයිනේ තිබු ගල් තලාව මතදීය.අනුර සුරවීර දක්ෂ ගොවියෙක් වගේම දක්ෂ පුහුණු කරුවෙක්. ගොවීන්ගේ ගැටළු සියල්ලටම ඍජුවම පිළිතුරු දීමට ඔහුට පුළුවන් කම තිබුනේ ඔහුත් ප්‍රායෝගිකවම ගොවියෙක් නිසයි. ගොවි ගැටළු විසඳන අතරේ රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතා කිරීමේ වාසි  ගැනත්,කෘෂි රසායනික භාවිතා නොකර වල් මර්දනය කරන අයුරුත් ඔහු පැහැදිලි කළා. 







සුරවීර මහතාගේ පැහැදිලි කිරීම පොතේ තියෙන දෙයක්ද නැත්නම් මෙ පොලවේ ක්‍රියාත්මක වෙන දෙයක්ද කියලා දැන ගන්න වගේම තහවුරු කරගන්නත් ගොවියන්ට අවශ්‍ය වුනා. මෙ වෙලාවේ අරුණට පෙන්නන්න තිබුනේ පහත දැක්වෙන පත්‍රිකාව විතරයි.


මෙතන තියෙන්නෙ කොස්ගම කුඹුරු යායේ දැනට පීදෙමින් තියෙන ගොයමක්. හොඳට  බැලුවොත් ඔබට පෙනේවි මෙ ගොයමේ මාර්තු පැල පිරිලා. මාර්තු කියන්නෙ වී නෙමෙයි  වල් පැලෑටියක්. ඉතින්  මාර්තු පැල විනාශ කරන්න වල් නාශක ගන්නට මුදල් යෙදවීමට අර වස විස  නැති බිත්තර වී ඉහල මිලකට ගැනීමට අධික මුදලක් වැය කල ඉඩම් හිමියාටම සිද්ධ උනා. ඒක හරිම පුදුම දෙයක් නේද? කුඹුරෙන් ලැබෙන අස්වැන්න තමන් පාරිභෝග කරන නිසා තමන්ටම ලෙඩරෝග හැදෙන බව දන්නා කුඹුරු හිමියා හා අඳ ගොවියා දැන දැනම මුදල් ගෙවා කෘෂි රසායනික ද්‍රව්‍ය මිලට ගෙන ලෙඩ හදා ගන්නවා.    


















8 වැනිදා අපට පුළුවන් උනේ ගොවින් කිහිප දෙනෙක් දැනුවත් කිරීමට හා එක ගොවියෙක් වස විස නැති වී වගාවට යොමු කිරීමට විතරයි. 11දා අපි ඒ ගොවියා ලවා නැකතට සුවඳැල් වැපුරුවා. පසුගිය දින දෙක තුල ලැබුණු ප්‍රතිචාරය නම් හොඳයි. වගාවට දින 10ක් ගත උනාම අපි ආපහු කොස්ගමට යනවා. ඒ ගොයමේ ඇති වල් ඉවත් කරන්නේ කෙසේද කියා ගොවින් දැනුවත් කිරීමට. එදිනට තවත් ගොවින් මුණ ගැසී සමුපකාර සංවිධානයක් සාදා ගැනීමේ මුලික කට‍යුතු කරන්න පුළුවන් වේවි.  අපේ අරමුණ මේ වැපිරීමෙන් ලැබෙන අස්වැන්න ඉහල මිලකට ඒ කියන්නෙ කුඹුරු හිමියාත්,ශ්‍රමිකයාත්, පාරිභෝගිකයාත් සතුටු වෙන මිලකට විකිනිමටයි. ඒ කියන්නෙ මේ  සුවඳැල් හාල් කිලෝවක් රුපියල් 150කට විතර අලවි කරන්නයි අපි පිඹුරුපත් හදන්නෙ.

සමරසේකර  




3 comments:

  1. උත්සාහයට ජයපතමි. හැමටම ජයවේවා !

    ReplyDelete
    Replies
    1. ඔබේ දිරි දීම ගැන ස්තුතියි. ඔබේ නිවස ආසන්නයේ ඇති මේ ගමෙ ගොවියන්ගේ ජිවන තත්වය නගා සිටුවීමට ඔබෙත් සහාය අපේක්ෂා කරමි.
      සමරසේකර

      Delete
  2. අහම්බෙන් හෝ මේ බ්ලොගයට යොමුවීමට ලැබීම ගැන ගොඩක් සතුටුයි. කරන්න යන දේ ගොඩක් වටිනවා. මීට සමාන දෙයක් උඩරට (නුවරඑළිය) ප්‍රදේශයේ සිදු කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.

    ReplyDelete